Entertainment

The Interview with Ranil Wickremesinghe


හිටපු අග්‍රාමාත්‍ය, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් දේශපාලන අර්බුදය දෙස විමසුම් ඇසකින් බලා තීන්දු තීරණ ගත්තේය. විවිධ අවස්ථාවල වත්මන් අර්බුදය ගැන පවතින සාකච්ඡාවලදී ඔහුගේ මැදිහත්වීම සාධනීයයි. ආර්ථික අර්බුදය ගැනත්, වත්මන් දේශපාලනය ගැනත් එදා කොතරම් විචාරශීලීව බලන්නේ ද යන්න  කළ මේ සංවාදය බැලූ කල තේරුම්ගත හැකිය.


ප්‍රශ්නය – විදුලිය, ඉන්ධන සහ ගෑස් යන බලශක්තීන් අඛණ්ඩව සැපයීමට ආණ්ඩුව අසමත් වීම නිසා ජනතාව නොසන්සුන් වූවා. බලශක්තීන් හිඟවීමෙන් ඇතිවූ අර්බුදය මේ වන විට බල අරගලයක් බවට පත්වී තිබෙනවා. මෙම අර්බුදය පිළිබඳව ඔබගේ විග්‍රහය කුමක්ද?

පිළිතුර – බලශක්ති අර්බුදය ඇතිවූයේ ආර්ථික අර්බුදය නිසා. ඩොලර් නොමැතිවීම නිසා. එම ගැටලුවට ආණ්ඩුව විසඳුමක් ලබානොදුන් නිසා මේ වන විට එම අර්බුදය දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබෙනවා.

ඒ කියන්නේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්න ඩොලර් තිබුණේ නැහැ. එම නිසා තමයි බලශක්ති අර්බුදයක් ඇති වූයේ. ඒ වගේම අපට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒම සඳහා ප්‍රශ්න තිබුණා. පාරිභෝගික ද්‍රව්‍ය ගෙන ඒම සඳහා ප්‍රශ්න තිබුණා. බොහෝ ද්‍රව්‍ය ගෙන ඒම සඳහාත් ප්‍රශ්න තිබුණා. එම නිසා එම ද්‍රව්‍ය පිළිබඳ හිඟයකින් ජනතාව පෙළෙන්න ගත්තා. ප්‍රශ්නය පටන් ගන්නේ එතනින් තමයි.

ඉන්ධන ඇතුළු බලශක්ති අර්බුදය නිසා ව්‍යාපාර බිඳ වැටීමත් සිද්ධ වූවා. එම හේතූන් නිසා ජනතාවට දැනුණු පීඩනය වැඩිවීමත් සමග තමයි ජනතාව පාරට බැස්සේ. ඊට පසුව ‘ගෝඨා ගෙදර යන්න’ කියන සටන් පාඨය ආවා. රාජපක්‍ෂලා ගෙදර යන්න කියන සටන් පාඨය ආවා. අද වන විට එම කාරණා දේශපාලන කාරණා බවට පත්වී තිබෙනවා.

ප්‍රශ්නය – 2015 දී පැවැති ජනාධිපතිවරණය නියමිත කාලයට පෙර පැවැත්වූ ජනාධිපතිවරණයක් බවට චෝදනා එල්ල වූවා. එම අවස්ථාවේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ඉදිරියේදී එළඹෙන අර්බුදයකට මුහුණදීමට නොහැකිව පළාගිය බවටත්, එම මැතිවරණය පරාජය අපේක්‍ෂාවෙන් පැවැත්වූ බවටත් එදා චෝදනා එල්ල කළා.2015 ජනාධිපතිවරණයට පෙර සහ පසුව එබඳු චෝදනා එල්ල වූයේ ඇයි?

පිළිතුර – ඇත්ත වශයෙන්ම ආර්ථිකය කඩාගෙන වැටුණා. 2015 දී ආර්ථිකය තවදුරටත් කඩාගෙන වැටුණා. 2015 දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය පැවැත්වූයේ තවදුරටත් ආර්ථිකය කඩා වැටීමට පෙර එම මැතිවරණය පත්වා ජයගැනීම සඳහා. නමුත් දිනන්න බැරි වුණා.

ඉන් පසුව අපි රට භාර ගත්තයින් පසුවත් ඒ අය සිතුවා අපිට වැඩිකල් කරගෙන යන්න බැරිවේවි කියලා. කඩන් වැටෙයි කියලා. නමුත් කඩාගෙන වැටුණේ නැහැ. අපි රට භාර අරගෙන ආර්ථිකය හදන්න පටන් ගත්තා. අපි රු. 10,000/= කින් පඩි වැඩි කිරීමට කටයුතු කළේ, එම නිසා පාරිභෝගික ඉල්ලුම වැඩිවීම තුළින් ආර්ථික කටයුතු කරගෙන යන්න පුළුවන් වන නිසා. ජනතාවගේ අතට මුදල් දීලා ආර්ථිකය නග්ගලා ගත්තා.

ප්‍රශ්නය- 2015 න් පසුව මතුවූ අර්බුදය විසඳීමට එවකට බලයේ සිටි යහපාලන ආණ්ඩුව අවශ්‍ය පියවර ගත්තා නම් යළිත් මෙම අවස්ථාවේදී ආර්ථික අර්බුදයක් මතුවූයේ කෙසේද?

පිළිතුර – එම අවස්ථාවේදී ආණ්ඩුවේ සාමාන්‍ය කටයුතු කරගෙන යන්නවත් ආණ්ඩුවට මුදල් තිබුණේ නැහැ. ඒ සඳහාත් අපට ණය ගන්න සිද්ධ වූවා. එම අවස්ථාවේදී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තීරණය කළා ණය පිළිබඳව ස්ථාවර භාවයක් ඇති කරන්න. ඒ කියන්නේ රජයේ වියදම් සඳහා අපට ආදායමක් තිබිය යුතුයි. නමුත් අපි එම අවස්ථාවේදී පරණ ණය ගෙවීම සඳහා ණය ලබා ගත්තා. අපි ගත්ත එම පියවර නිසා 2017 වන විට ප්‍රාථමික අයවැයේ ඒ කියන්නේ රජයේ වියදම්වල අතිරික්තයක් තිබුණා. අපි එම අවස්ථාවේදී බැලුවේ තවදුරටත් අතිරික්තය වැඩිකර ගන්න. එසේ කටයුතු කළ පසු ණය ගෙවීම සඳහා හොඳ ස්ථාවරයක් එනවා. 2018 සහ 2019 දී ඇතිවූ දේශපාලන අර්බුද සහ බෝම්බ පිපිරීම නිසා එම කටයුත්ත ආපස්සට ගියා. එම අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කිව්වා තාවකාලික කටයුතු නිසා එම කටයුතු පස්සට ගියත් ඉදිරියට යන්න කියලා.

එම කටයුතු කිරීම සඳහා අපිට බදු වැඩි කිරීමට සිද්ධ වූවා. නමුත් මේ ආණ්ඩුව බලයට පත්වූ පසුව බදු සියල්ල අඩු කළා. බදු අඩු කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න අකමැති වූවා. මොකද එම අරමුදලට ගියා නම් බදු වැඩි කරන්න කියලා කියනවා. මෙම ආණ්ඩුව බදු අඩු කිරීමට ගත් පියවර නිසා ප්‍රාථමික අයවැයේ තිබුණ අතරික්තය නැති වූවා.

ඉන් අනතුරුව කොවිඩ් වසංගතය ආවා. එම අවස්ථාවේදී අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් විදේශ ණය ලබාගන්න තිබුණා. නමුත් ඒක කළේ නැහැ. එම නිසා අපි ඉතිරි කරල ගිය ඩොලර් බිලියන 7 එම කටයුතු සඳහා යොදවන්න සිද්ධ වූවා.

ප්‍රශ්නය – යහපාලන ආණ්ඩු සමයේදී ස්වෛරී බැඳුම්කර අලෙවි කිරීමෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 11 ත් 15 ත් අතර ණය මුදලක් උපයාගෙන ඇති බව පැවසෙනවා. එම මුදල් ලබාගත්තේ කුමක් සඳහාද?

පිළිතුර – ණයෙන් කොටසක් ලබාගත්තේ පරණ ණය ගෙවීම සඳහා. ඒ සඳහා බිලියන 8 ක් පමණ වැය වූවා. ඉතිරි මුදල අනෙකුත් කටයුතු සඳහා යෙදවූවා. සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා අපට මුදල් අවශ්‍ය වූවා.

ප්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයන් මෙන්ම හිතවතුන් ප්‍රකාශ කරනවා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවට ජාත්‍යන්තරයේ සහයෝගය නොලැබුණු නිසා වැඩි පොලියට ණය ගැනීමට සිදුවූ බව. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරනවා එක්සත් ජාතික පක්‍ෂයට ජාත්‍යන්තරයේ සහයෝගය හිමි වන නිසා අඩු පොලියට ණය ලබාගත හැකි බව.

එසේ නම් ඇයි එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන කොටස්කරුවා වූ යහපාලන ආණ්ඩුව ස්වෛරී බැඳුම්කර විකුණා බිලියන 11ත් 15ත් අතර ණය මුදලක් ලබා ගැනීමට සිද්ධ වූයේ.

පිළිතුර – එම ආණ්ඩුවට එම ණය ගැනීමට සිදුවූ එක් හේතුවක් තමයි විදේශ රටවල්වලින් ආධාර නොලැබීම. අපි බලයට පත්වන විට ඒකපුද්ගල ආදායම වැඩි වී තිබුණා. එම නිසා අපේ රට අඩු ආදායම්ලාභී රටක මට්ටමේ සිට පහළ මට්ටමේ මධ්‍යම ආදායම් ලබන රටක මට්ටමට පත් වී තිබුණා. එම නිසා අපට ආධාර ලබාගන්න බැහැ. එම නිසා අපට ණය ගැනීමට සිද්ධ වූවා.

ප්‍රශ්නය – මේ මොහොත වන විට අපේ රට මුහුණ දී සිටින්නේ දැඩි ආර්ථික අර්බුදයකට. නමුත් සමහර පුද්ගලයන් එම අර්බුදයට විසඳුම් ලෙස ව්‍යවස්ථා වෙනසක් කළ යුතු බව යෝජනා කරනවා. මෙම අර්බුදය ව්‍යවස්ථා වෙනසකින් විසඳිය හැකිද?

පිළිතුර – ව්‍යවස්ථා සංශෝධනයකින් විසඳන්න බැහැ. නමුත් පක්‍ෂ සියල්ල එකතු කිරීමේ පියවරක් ලෙස 20 වන සංශෝධනය ඉවත් කිරීමට යෝජනා කරලා තිබෙනවා. මම හිතන්නේ මෙතනදී පළමුව 19 වන සංශෝධනයට ගිහින් පසුව අනෙක් සංශෝධන දෙස බලන්න ඕන. නමුත් සමහරු කියනවා සම්පූර්ණ සංශෝධනයක් කිරීමට අවශ්‍ය බව.

ප්‍රශ්නය – මෙම අවස්ථාවේදී සමහරුන් ප්‍රකාශ කරනවා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියගේ කාලයේදී ක්‍රියාත්මක කළ ස්වදේශීය ව්‍යාපාර නංන්වාලීමේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක වූවා නම් මෙම අර්බුදයට මුහුණ දීමට සිදුනොවන බව.

එම මතය පිළිබඳව ඔබගේ ආකල්පය කුමක්ද?

පිළිතුර – එදා විදේශ විනිමය තිබුණේ නැහැනේ, හාල් ගේන්න බැරි වුණ නිසා දවස් දෙකක් බත් කන්න බැරිවූවා. එම කටයුතු දිගටම ගියා නම් අපි වැටෙනවා.

ඔය අදහස් යල් පැනපු අදහස්. ඒවායින් වැඩක් නැහැ. ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තමයි සෝවියට් දේශය කඩාගෙන වැටුණේ.

ප්‍රශ්නය – සමගි ජනබලවේගය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනා සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබා දෙනවාද?

පිළිතුර – මම සඳහන් කළා ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විශ්වාසභංග යෝජනා සඳහා සහයෝගය ලබාදෙන බව. නමුත් ඊළඟ පියවර කුමක් ද කියන එක පැහැදිලි කළ යුතුයි. ඒ පිළිබඳව තවත් පක්‍ෂ විසින් සඳහන් කරලා තිබෙනවා.

ප්‍රශ්නය – පසුගිය ආණ්ඩු සමයන්හිදී විශාල වශයෙන් වංචා දූෂණ සිදුවී ඇති බවට චෝදනා එල්ල වනවා. එලෙස වංචා කරන ලද මුදල් විදෙස් රටවල්වල තිබෙන බවටත් චෝදනා එල්ල වනවා.

එම චෝදනාවන් පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – ඒ පිළිබඳව සොයා බැලිය යුතුව තිබෙනවා. අපේ ආණ්ඩු කාලයේදී දූෂණ මර්දන කාර්යාලයෙන් සොයා බැලුවේ මෙරට තුළ සිදුවූ දූෂණ පිළිබඳව. ඒ පිළිබඳව අපි පුවත්පත් නිවේදන නිකුත් කරනවා.

විදේශ රටවල්වල ඇති සොරකම් කළ වත්කම් පිළිබඳව සොයා බැලුවේ ජනාධිපතිතුමා යටතේ තිබුණ කාර්ය සාධක කණ්ඩායමක් විසින්. එහි කටයුතු පිළිබඳව එතරම් ප්‍රතිඵලයක් තිබුණේ නැහැ. ඔවුන් අපේක්‍ෂා කළ තරම් කරුණු ලැබුණේ නැහැ. ඒ වගේම ඒ පිළිබඳව නඩු පවරනවා නම් නඩු පැවරීමට සිදුවන්නේ එම වත්කම් තිබෙන රටවල්වල. සොරකම් කළ වත්කම් විදෙස් රටවල්වල තිබෙනවා නම් ඒ පිළිබඳව නඩු කටයුතු අවසන් කර එම වත්කම් මෙරටට ගෙන ඒම සඳහා වසර 5ත් 10ක් පමණ කාලයක් ගතවේවි.

ප්‍රශ්නය – සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්‍ෂ ආණ්ඩුව පෙරළීම සඳහා විශාල උනන්දුවකින් කටයුතු කරන බව පෙනී යනවා. නමුත් එක්සත් ජාතික පක්‍ෂයට එතරම් උනන්දුවක් තිබෙන බවක් පේන්නේ නැහැ. ඊට හේතුව කුමක් ද?

පිළිතුර – විශාලම උනන්දුව තිබෙන්නේ ජනතාවට. අපි කියන්නේ අපේ අයට ඒ සමග එකතු වෙන්න කියන එක තමයි. අපි කියන්නේ උද්ඝෝෂණ බෙදන්න එපා කියන එක තමයි. මෙම උද්ඝෝෂණ සඳහා පක්‍ෂ පාට අනවශ්‍යයි. අපේ පක්‍ෂය විසින් සිදු කළේ සුදු ඇඳගෙන කළ සත්‍යග්‍රහය පමණයි. නමුත් අපි කරන උද්ඝෝෂණ ශක්තිමත්ව කළා.

ප්‍රශ්නය – පවතින දේශපාලන තත්ත්වය විප්ලවීය තත්ත්වයක් දක්වා පරිවර්තනය කර මෙරට තුළ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී පක්‍ෂය කටයුතු කරමින් සිටින බව පේන්න තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවා තිබෙන හර්තාලයට එක්සත් ජාතික පක්‍ෂය විසින් සහයෝගය ලබා දෙනවාද?

පිළිතුර – සමහර කරුණුවලදී අපත් ජනතා විමුක්ති පෙරමුණත් එක ස්ථාවරයක සිටිනවා. අපිත් කියනවා ජනපති සහ

අගමැති යන දෙදෙනාම ඉවත් විය යුතු බව.

ජනතා විමුක්ති පෙරමුණ තවම කියලා නැහැ කොමියුනිස්ට් ආණ්ඩුවක් පිහිටුවන බව. ඒ අය හරි වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා නැහැ. පෙරටුගාමී පක්‍ෂයේ කටයුතු පිළිබඳව මම දන්නේ නැහැ. ඔවුන් ප්‍රකාශ කරලත් නැහැ.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණී ජිනප්‍රිය 

දිවයින ඉරිදා සංග්‍රහය



Supply hyperlink

Leave a Reply

Your email address will not be published.

close